Wednesday, March 2, 2011

යුවරාජ් සිං හූ කියන අය මකවයි - 2010-08-06



ඉන්දීය - ශ්‍රී ලංකා තුන්වන හා අවසාන ටෙස්ට් තරගයේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංට සමච්චල් කළේ යයි සැක පිට බොරැල්ල පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පසුගියදා මාධ්‍යවලට පැවසී ය.


මේ යුවරාජ් බබා ඔහුගේ සිකියුරිටි මාමලාට අරුන් මට බැන්නා යයි ඇඟිල්ල දිගු කර පෙන්වා පැවසීම මෙම අත්අඩංගුව‍ට ගැනීමයි.


නමින් පමණක් යුවරාජ් වන මේ හාදයා මෙන් නොව ඇත්තට ම යුවරාජ නාමල් බේබි රගර් ගහද්දීවත් මෙහෙම සන්තෑසියක් වී මින් පෙර වී නැත.


ප්‍රේමදාස ජනාධිපති සමයේ හේමා නෙට්බෝල් ගසද්දී ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියකු අතුරුදහන් කරන ලද බව අප අසා ඇතිමුත් හේමාගේ නෙට්බෝල් 'අපි නො දන්න චෙස්' වැනි දෙයක් නිසා එම සිද්ධිය ක්‍රීඩා සමග සම්බන්ධ කර ගත නො හැක.

දැන් මේක හරි කෙළියක් වී ඇත. මෙහෙම ගියොත් කීපරයාට බෝක්කුවක් ගියත් හූවක් කියන්නට ලැබෙන්න්නේ නැත. ‍ක්‍රීඩා තරගවලදී ලොව හැම තැන ම හැමදාමත් සිදු වූ මෙවැනි සමච්චල් ලංකාවේ කරන්නට නො ලැබෙනු ඇත. ඒ වෙනුවට තරුණ සේවා සභාවේ බබාලා සේ 'චහ් චහ් චහ් - චහ් චහ් චහ් - චහ් - චහ් - චහ්!' කියා තාලෙට අප්පුඩි ගසා පේළියට ගෙදර එන්නට ක්‍රීඩා ලෝලීන්ට සිදු වනු ඇත.


වරද ඇත්තේ අරූ මට ගැහුවා යි පැමිණිලි කළ එකාගේ ‍නොව, කඩපු නීතියක් නැතිව, පෞරුෂ ගැටලු ඇති එක එක හොටු කොල්ලන් කී පලියට මිනිසුන් අත්අඩංගුවට ගෙන රඳවා ගත් මහජන ආරක්ෂාවට සිටින ඇත්තන්ගේ ය.

ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් හා වෙනත් ශාරීරික සෞඛ්‍යයට හිතකර ක්‍රීඩා කිරීම අතහැර කම්මැලි ක්‍රිකට් ගසමින් හා රූපවාහිනී ඉදිරිපිට මානසික ක්‍රීඩකයන් වෙමින් සිටින, රති ක්‍රීඩාවවත් හරියට කෙළීමට නො දත්, සෑම දහදෙනෙකුගෙන් ම එක් අයෙකු දියවැඩියා රෝගියකු වන ලාංකික ජනතාව ඇත්තට ම මෙම කාලකන්නි ක්‍රීඩාව විසින් සිරගත කර තිබේ. මේ සිද්ධියෙන් සංකේතවත් වන්නේ එයයි.


කම්මැලි ලාංකිකයිනි, ක්‍රිකට්කාරයන් මේ අන්දමින් ඔබට පඩේ දමන්නේ ඔබ ඔය කාලකන්නි ක්‍රීඩාව බලන නිසා ය. ‍ක්‍රිකට්කාරයන්ගේ ඔලුව ඉදිමෙන ගානට සල්ලි ලැබෙන්නේ ද, මහජන ආරක්ෂාවට සිටින නිලධාරීන් පවා උන්ගේ පදයට නැටවෙන්නේ ද අප වැනි දියවැඩියා ජාතියක් රූපවාහිනී ඉදිරිපිට විරවාගෙන මැච් බලන නිසා ය. අප ක්‍රිකට් බැලීමෙන් ඈත් වුවහොත් මුන්ට අනුග්‍රාහකයන් ලැබෙන්නේ හා දැන්වීම් විකුණා ගන්නට ලැබෙන්නේ නැත. තමන්ට සැප ලැබුණේ පිට්ටනිය වටේ සිට හූවක් කියන විසිල් එකක් ගසන ක්‍රීඩා ලෝලීන් නිසා බව එවිට උන්ට මතක් වනු ඇත.

ක්‍රිකට් වෙනුවට අඩු තරමේ මේවර කෙළියේ හෝ එළුවන් කෑමේ හෝ යෙදෙන්නේ නම් මීට වඩා නිරෝගී ජාතියක් අපට ලැබෙනු ඇත.

Monday, February 28, 2011

Arisen Ahubudu talks to ‘Tulava’ on Sinhawalokanaya – the movie




සුදර්මන් රදලියගොඩ: අපේ රටේ සිනමා කර්මාන්තය අද මුහුණ දී තිබෙන්නේ ඉතාම ශෝචනීය තත්ත්වයකට. මන්ද අද බිහිවන සිනමා කෘති වලින් වැඩි හරියක් දේශද්‍රෝහී, රටටත් වැඩක් නැති…මේ අපටත් වැඩක් නැති, මහින්ද චින්තනය දශමයක් වත් නිරුපණය නොකරන ඒවා. උදාහරණයක් හැටියට මේ අශෝක හඳගම කියන හාල්පාරුවා ළමා චිත්‍රපටයක් හැදුවත් ඒකටත් හිට්ලර්ගෙ මූණ තියෙන නායකයෙක් දාලා අපේ වසර 2,500 පැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසය, සභ්‍යත්වය, සදාචාරය සමච්චලයට, අවතක්සේරුවට ලක් කරනවා. අර සරත් වීරසේකර මහත්තයා කිව්වා වගේ මුං සේරම එල්ලා මැරිය යුතුයි. ඒ කොහොම වෙතත් මේ අවර ගණයේ නිර්මාණ අතරට ‘සිංහාවලෝකනය’ වැනි ගාම්භීර නමක් ඇති, දේශප්‍රේමී, විශිෂ්ට සිනමා කෘතියක් එක්වීම රටට ජාතියට ආදරය කරන ඔබේත් මගේත් අමන්දානන්දයට හේතු වන කාරණාවක්. ඉතින් මේ විශිෂ්ට සිනමා කෘතිය ගැන සමබර නිදහස් අදහස් දක්වන්නට අද ‘තුලාව’ට අප ආරාධනා කළා නම කියූ පමණින් ඔබ අප කවුරුත් දන්නා වියතකු වන අරිසෙන් අහුබුදු මහත්මයාට. අපි එතුමා ආයුබෝවන් කියා ‘තුලාව’ට පිළි ගන්නවා…ආයුබෝවන් අහුබුදු මහත්මයා.

අහුබුදුවෝ: ආයුබෝවන්!

රදලියගොඩ: අහුබුදු මහත්මයා, ඔබ හිතන්නේ මොකද්ද මේ ‘සිංහාවලෝකනය’ නැමැති, ඉතාම කලාතුරෙකින් බිහිවන ආකාරයේ, දේශප්‍රේමී, අති විශිෂ්ට, නිර්මාණශීලී සිනමා කෘතිය පිළිබඳව?

අහුබුදුවෝ: හෙළ කලා අඹරෙහි වෙසෙසින්මැ පායා සුදිලෙනැ රන් තරුවක් සේ මා දුටුවා මේ පින්සර, දෑ හිතැති, දෑ විකුමැති, මනරම් සිතුවම් පටය. හෙළ දෙස, හෙළ රැස, හෙළ බසය යන තෙරුවනැ මුළුදෙනැ, දෑ හැඟුම් පොබයනැ, පොබයා රණ විකුමින් මනමත් කරනැ, පරංගි දෙස්හි මහරජුන්ටත් මර උණ ගැන්නු, අපේ රාවණා මුත්තා ගේ පටන් පඬුඅබා, ගැමුණු, විජයබා, ගජබා, මහ පැරකුම්බා, රාසිං ඈ නිරිඳුන්ද සිරි රුහුණු ජනරජ ඇඳුරිඳු මිහිඳු රජපස, ඇඳුරිඳු ගොළුඅබා රජපස, මහ සෙන්පති සවිනිදු සිලවා තෙක් සිව්හෙළ, සීහෙළ එනම් සිහළ රණවිරුවන් තෙද බල පැරකුම් සිහි ගන්වනැ අනගි සිනිමා සිත්තමකි. මහ නළු ඩෙලොන් ජයසිංහයෝ පර සුද්දන් අබියෙසැ දණ නවා කුසට අහරෙක්, වතට පිළියෙක් යදිනැ පරගැතියන්ට ආදුරුසයෙක් වෙමින්, පර සතුරු බල බිඳිමින් සිහළ බල නඟති; එඩි වඩති. ඒ නුදුටු ඇස් කුමකටද හෙළ සිත්හි පැණැ මතු නොවෙතොත් මහැමැ පුදුමයෙකි.

රදලියගොඩ: ඔව්, ඔබ විශේෂයෙන්ම සඳහන් කළ ආකාරයට, අපේ රට විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණවලට යටත් වෙමින් පවතින මේ මොහොතේ, අපේ රටේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණ වලට නිර්භීතව මුහුණ දී ඒවා පරදවා රට, ජාතිය, ආගම එක්සේසත් කිරීමට විශාල උත්සාහයක් ගන්නා මේ මොහොතේ මෙබඳු සිනමා කෘතියක වටිනාකම මිළ කළ නොහැකියි. ඒක නෙවෙයි අහුබුදු මහත්මයා, කාටද මේ ‘සවිනිදු සිවලාය’ කිව්වේ?

අහුබුදුවෝ: හා! හා! දරුවා! කට! කට! ‘සවිනිදු සිවලා’ නෙවෙයි ‘සවිනිදු සිලවා’. පසුගිය දොහෙකැ පිරපාහරන් නම් කඳ බඩ මහත් වූ සොරදෙටුවා දෙපයින් ගෙනැ පරසක්වල ගසා, සිහළ බල ලොවට පෑ ඒ විකුමැති මහතුන් කළ ගුණ දන්නා දැයක් ලෙසැ අප කෙසේ නම් අමතකැ කරලමුද?

රදලියගොඩ: හා.. ඒක මිසක්. අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයින් අවබෝධකර ගන්නවා ඇති අහුබුදු මහත්මයා එයින් අදහස් කළේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර නායකත්වයෙන්, පුරා තිස් වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදාගත් මානුෂික මෙහෙයුමේ ක්‍රියාකාරී වීරෝදාර නායකයකු වූ බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර ද සිල්වා මහතා බව. මෙහිදී අපේ රණවිරුවන් කළ වීරෝදාර පරිත්‍යාග ගැනත් අපට කොහොමටවත් අමතක කරන්නට බැහැ. කොහොම වුණත් අහුබුදු මහත්මයා මගේ ඊළඟ ප්‍රශ්නය මේ නම ‘සිංහාවලෝකනය’ ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ?

අහුබුදුවෝ: සිංහයා විසින් අවලෝකනය කරනැ ලද්දේ සිංහ+අවලෝකනය නම් වේ. අවලෝකනය හෙවත් අව+ලෝකනයෙහි අව නම් පහළයි. ලෝකනය නම් බැලීමයි. ඉතින් කිමෙක්ද මේ සිංහයා විසින් පහළ බැලීම? පහළ බලන සිංහයා දකින්නේ කිමෙක්ද? මල පහ කොටැ සෝදා ගන්නැට වත් නොදන්නා පර සුද්දාගේ පරගැති යදම් බිඳ, මින් වසර පන්දහසකට ඔබ්බෙන් රාවණා මුත්තාගේ සමයෙහි දියතමැ නතු කළැ හෙළයින්, පරසතුරු බලැ බිඳ යළි තම පැරැණි ඔදවත, කිතුගොස පළ කෙරුමැ නොවේද? ඉතාම අනගි නමෙකි, මේ අනගි සිනමා සිත්තම පිණිස.

රදලියගොඩ: අහුබුදු මහත්මයා, ඒ වුණාට මේ චිත්‍රපටයේ සිංහලයන් විසින් සුද්දාගේම බටහිර, තුප්පහි, සංකර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුද්දා පැරැදවීම කොයි තරම් දුරට උචිතද? වීර සිංහලයා ක්‍රිකට් වගේ බටහිර, තුප්පහි, සංකර ක්‍රීඩාවක නියැළෙනවාය කියන එකෙන් පර සුද්දාට බාල්දු වීමක් අදහස් වෙන්නේ නැද්ද? මං කියන්නේ මේකට චක්ගුඩු වගේ අපේම කියන්නට පුළුවන් සෙල්ලමක් යොදා ගත්තා නම් නරකද මීට වඩා?

අහුබුදුවෝ: අපේ පැරැණි සාහිත පතපොත වලින් ඕනෑ තරම් කරුණු ගෙනැ හැරැ දක්වන්නැට පිළිවනි පන්දු කෙළිය අපේ රාවණා මුත්තාගේ පටන් මේ හෙළ බිමෙහි පැවැති බවට. බුත්සරණෙහි, අමාවතුරෙහි, කව් සිළුමිණෙහි නැතිවද පන්දු කෙළිය පිළිබඳ ඇති තරම් විස්තර? එල්ලාවල මේදානන්ද හිමියන්ගේ පුරාවිදු පරියේසණ වලින්ද හෙළි වෙනවා නොවැ ඒ වග. අනුරපුරයෙහි, පොළොන්නරුයෙහි එක පෙළට සිටුවා ඇති ගල්කණු තුනෙක් දුටු විගසැ අපට හැඟෙන්නේ කිමෙක්ද? ඒ තමා එකළැ අප දස මහා යෝදයින් පන්දු කෙළින්නට ගත් කඩුල්ල හෙවත් විකැට්ටුව. පර සුද්දාගේ විකැට්ටුව වගේ සුළු නැහැ, තුන් වේලට බත්, පොළොස්, හෙරළි කෑ අපේ යෝදයින්ගේ විකැට්ටු. ඒ පන්දු කෙළියම තමා පසු කළෙකැ මල පහ කොටැ සෝදා ගන්නැට වත් නොදන්නා පර සුද්දා සොරැකම් කළේ. සොරැකැම් කොට අපට දුන්නේ උන් ගේ කෙළියක් ලෙසැ. අපේ රාවණා රජු දවසැ කිරි කපන්නැට ගන්නා කැති වළින් කළැ කෙළිය කිරි+කැති, කිරි+කැට් වී පසුව පර සුද්දා ‘ක්‍රිකට්’ කළේ. ඒ සුද්දාගේ නිමැවුමක් සේ දකින්නෝ අනුකාරකයෝයැ, අවජාතකයෝයැ, කිරි+කැති අපේම පන්දු කෙළියක් බවට මෙතරම් නිදසුන් තිබියදි.

රදලියගොඩ: ඒ එක්කම අපේ සමහර දේශද්‍රෝහීන් චෙදනාවක් කරනවා අහුබුදු මහත්මයා, මේ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ අමීර් ඛාන්ගේ Lagaan චිත්‍රපටයේ කාබන් කොපියක් කියලා…

අහුබුදුවෝ: නැති. නැති. නැති. අපේ පරගැතියෝ පර දේසක්කාරයාගේ ගුණමැ දක්නෝ තමන්ගේ එකාගේ ගුණ නොදක්නෝයැ. තමා ගුණ නොදිස්නේ – දිස්නේ ගුණ මැ මෙරමා! හෙළ විරුවන් කිරිකැති කෙළියෙන් පර සුද්දා පැරැදූ බව රාවණා රජ සමයේ පටන්මැ අපේ සාහිත පොතපතෙහි වූ පුවතෙකි. අමීර කානයා සොරැකැම් කොටැ ලගානයක් තැනූයේ මෙපුවතිනි. ඒකා අපෙන් සොරැකම් කළා මිස අපි ඒකාගෙන් සොරැකම් නොකළෙමු. එසේ සිතන්නෝ පරගැතියෝය, අවජාතකයෝයැ. උන් හෙළ දෙසය, හෙළ රැසය, හෙළ බසය යන තෙරුවනට නිගා දෙවන්නෝය. අපි දෙවන පෑ තිස් රජ දවසටත් පෙරැ පටන් රාවණා රජ සමයේ සිටමැ බුදු බණෙහි පිහිටවූවෝ අනෙකුන්ගෙන් සොරැකම් නොකරමු, මුසා බස් නොදොඩමු, උන් අපෙන් සොරැකම් කළොත් මිසක.

රදලියගොඩ: අහුබුදු මහත්මයා මේ චිත්‍රපටයේ එක තැනක තියෙනවා මේ වීර සිංහලයින් පිරිස කාල යන්ත්‍රයක් මාර්ගයෙන් අනාගතයට ඇවිල්ලා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්තාය කියලා. මේවා වෙන්න පුළුවන් දේවල් කියලද ඔබතුමා හිතන්නේ?

අහුබුදුවෝ: ඇයි බැරි? මෙසේ අසන්නේ අපේ රාවණා මුත්තාගේ දස්කම් විස්කම් නොදන්නා නොදරුවනුයි. කවුරුද නොදන්නේ ලොව පළමු ගුවන් රිය තැනූයේ අපේ රාවණා මුත්තා බව? රසදියෙන් පණ ගැන්වූ ඒ රාවණා මුත්තාගේ ගුවන් රිය නැවතුම් පොළ නොවැ පසුව ‘වාරියපොළ’ වුණේ. වා+රිය+පොළ=වාරියපොළ. දුම්රිය පොළ වාගේ ‘වායු රථ පොළ’.රාවණා මුත්තාගේ ගුවන් රිය නොතිබුණා නම් කොයින්ද මේ නම්? අපේ පාසල් වල ඉගැන්නිය යුත්තේ මල පහ කොටැ සෝදා ගැනීමට වත් නොදැනැ සිටි රයිට් සහෝදරයින් ගුවන් රිය තැනූ පුවතෙහි ඉතිහාසය නොවැ අපේ රාවණා මුත්තා දැව දඬුයෙන් දඬු මොණරය නම් අනගි නිමැවුම කොටැ හෙළ කිතුගොසැ ලොවැ නැංවූ පුවතයි. රසදියෙන් දිවෙනැ ගුවන් රිය තනන්නටැ පිළිවන් වුණා නම් අපේ ආදි මුතුන් මිත්තන්ට ඇයි බැරිවුණේ මෙවන් දස්කම්? මේ නැහැ, බැහැ යන වදන් ඉවත ලූ අපේ සැබෑ හෙළයින්ගේ සපන්කම්. සිංහාවලෝකනය නම් මේ සිතුවම්පටින් කියන්නේ ඒ මහත් විකුම් පෑ හෙළයින් ගැන අප නොදන්නා අන්දරයයි. මේ සිතුවම්පට බැලුමට පමණෙක් නොවෙයි. ඒ බලා අද වීර හෙළයින් උගත යුතුයි මුතුන් මිත්තන්ගෙන් පාඩම්. ‘සිංහල සිංහාසනය’ මැයින් ගුරු දෙවි කුමරතුඟු මුනිදසුන් කියවන නුවණෙහි ලිවූයේ කිමෙක්ද? අපේ පෙරැ කළැ තෙදවත බලා සංවේග උපදවා, යළි නැඟෙන්නටැ පස්වැනි ජෝර්ජි මහා රාජයන් මහා කරුණා නෙතින් අප දෙසැ බලා සිහසුන යළි අපවෙත එවූ බව නොවේද කුමරතුඟුවන් කීවේ? මේ සිංහාවලෝකනයද එබඳුම සිහසුනක් නොවේද දෑ හැඟුම් උපදවා ගණු පිණිස?

රදලියගොඩ: හොඳයි අහුබුදු මහත්මයා අවසාන වශයෙන් දේශද්‍රෝහීන් තවත් චෝදනාවක් කරනවා මේ අති විශිෂ්ට සිනමා නිර්මාණය කරන ලද්දේ වර්ගවාදය විකුණාගෙන කෑම ලාභාදායී ව්‍යාපාරයක් වී ඇති මේ කාලයේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නය කියලා. ඒ වගේම ඔවුන් කියන්නට පුළුවන් ‘වර්ල්ඩ් කප්’ අස්සේ එවැන්නක ඉල්ලුම තවත් වැඩි වෙන්නට ඉඩ ඇති බව. ඔබට මොකද හිතෙන්නේ?

අහුබුදුවෝ: හපොයි, මොන අසාදාරණ කියුමෙක්ද ඒ? පරගැතියවුන්ට, අවජාතකයින්ට පමණෙක් කළැ හැකි නපුරු කියමනක් නොවැ. මුන්ම නොවැ කියන්නේ මා මේ දරුවකුට සැංසුංද දැරිවියකට නොකියාද කියා ආරිය සිංහළ නම් තබා මඩිය තරැ කැරැ ගන්නා බව. මුංගේ කටවල් වලට වැහි නැති හෙණ නොවැදිය යුතුද මෙවැනි අවලම් කතා කියන කොට? අපට දෙස රැස බස ඈ තෙරුවන කෙරෙහි ඇති බැතිය මුංට නොවැටහේද? අපට රට දැය නැඟුම සඳහා වන මෙහෙවර මුංට නොපෙණේද?

රදලියගොඩ: ඔබට බොහෝම ස්තූතියි අහුබුදු මහත්මයා, අද මේ අපේ රටම විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණයකට යටව ඇති මොහොතේ, අපේ අතිගරු ජනාධිපතිතුමන් නිර්භීතව බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් ආකාරයෙන්ම මේ විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන්ගෙන්ද රට මුදා අපේ ප්‍රෞඪ අතීතය නැවත මේ ජයභූමිය මත ප්‍රතිනිර්මාණය කිරීම පිණිස දිවා රෑ නැතිව කටයුතු කරන මෙ මොහොතේ, ඒ විජාතික කුමන්ත්‍රණකරුවන්ගේ සැලැසුම් රටට හෙළිකරමින් රට ජාතිය ආගම ගැන අපේ ඇති ආදරය භක්තිය කුළු ගන්වමින් කළ මේ අගනා සිනමා නිර්මාණය පිළිබඳව දේශප්‍රේමී දෘෂ්ටි කෝණයෙන් අපේ ප්‍රේක්ෂකයින් උදෙසා කළ විචාරය සම්බන්ධව. ඉතින් ප්‍රේක්ෂකයිනි අදත් අපේ කාලය අහවරයි. ලබන සතියේත් අප නැවත හමුවෙමු නිදහස් හා සමබර අදහස් ඔබ වෙත ගෙනෙන එකම රූපවාහිනී වැඩහටන වන ‘තුලාව’ තුළින්. තුලාව රූපවාහිනී මහගෙදර නිර්මාණයක්. මා ඔබෙන් සමු ගන්නා සුදර්මන් රදලියගොඩ. ආයුබෝවන්

පබාට පහරදීම........


පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා ප්‍රකට රූපවාහිනි නිළි උපේක්‍ෂා ස්වර්ණමාලී හෙවත් පබාට අමානුෂික ලෙස පහර දීම වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ඉවසා ගත නොහැකිව රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කෙරෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තවත් එක් පියවරක් පමණක් බව මාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

Lankacnews වෙබ් අඩවිය ප්‍රකාශ කළේ මේ පසුපස සජිත් ප්‍රේමදාස මහතා සිටීදැයි සැක මතුවී ඇති බව හා මිරිහාන පොලීසිය ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත්ය. සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, චක්‍රලේඛ නොසලකා හැර වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙසත් ජනාධිපතිතුමා පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාට විශේෂ නියෝගයක් කර ඇත. චක්‍රලේඛවලට මුවා වී රාජකාරිය හරිහැටි ඉටුනොකරන වංචනික නිලධාරීන් ගැන තමන් බලා ගන්නා බවද ජනධිපතිතුමන් අනතුරු අඟවා තිබේ.

ඒ අතරම දේශපාලන විද්වතුන්ගේ මතය වී ඇත්තේ මේ ප්‍රහාරය රක්ෂණාවරණයක් ලබා ගැනීම සඳහා පබා විසින් පබාටම පහර දී ගැනීමක් ලෙසය. මෙසේ මීට පෙර තමන්ටම පහර දී ගත් සිරස, සියත හා ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍ය ආයතන වලට රක්ෂණාවරණයන් ගෙවා බංකොළොත් වී ඇති රක්ෂණ ආයතන වලට මෙසේ පුද්ගලයින් විසින් තමන් තමන්ටම පහර දී ගැනීම දැරිය නොහැකි බරක් බවද ඔව්හු පෙන්වා දෙති.

මිරිහාන පොලිස් වාර්තා උපුටා දක්වන දිනමිණ පුවත්පත වාර්තා කරන අන්දමට මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ නිදන කාමරයේ තිබී කාන්තා යට ඇඳුම්, හිස් අරක්කු බෝතල්, උපත් පාලන උපකරණ හා නිල් චිත්‍රපට ඇතුළු භාණ්ඩ තොගයක් හමුව ඇත.

ඉරිදා දිවයින පුවත්පතේ කර්තෘ ගාමිනී සුනඛසේකර මහතා තම පුවත්පතට පිටුවක ලිපියක් ලියමින් හෙළිකරන්නේ පබාගේ සෞඛ්‍ය ගැටළු පිළිබඳ කතා විරුද්ධවාදීන් විසින් ගොතන ලද ඕපාදූපයක් බවත්, ඇය අද උදේත් ජොගිං යනු තමන්ට හමුවූ බවත්ය.


Sunday, February 27, 2011

Sri Lanka President calls cricket song no-ball


පහත් රුචියක් මත පදනම් වූ, අපහාසාත්මක හා මුග්ධ ප්‍රකාශ සහිත වචන වගයක් (පදමාලාවක් යයි ද ඇතැම්හු කියති) සහිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලෝක කුසලාන සිංදුව (ගීතය) තහනම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් පියවර අපි අගය කරමු.

මෙන්න ඒකට ආපු comments
මොකක්ද මේකේ යටි අරමුන ආයුබෝවන්ඩ



Saman said... February 25, 2011 1:33 PM

පෞද්ගලිකව මමත් මේ දෙකයි පනහේ ගීත වලට අකමැතියි. "රතු රටකජු - සුදු රටකජු" වලට විතරක් නෙවෙයි රූකාන්තගේ "උලත් එකයි පිලත් එකයි-බතුත් එකයි ගූත් එකයි" සිංදුවත් ඒ වගේ. ඒ විතරක් නෙවෙයි. "බඹර වගේ විසේකාරයා.." සිංදුවත් ඒවගේ.
නමුත් අන්‍ය ජාතීන්ට පහර ගැසුවායැයි සිංහල ගීතයක් තහනම් කරපු ජනාධිපති තුමා සිංහලෙන් සුද්දන්ට බනින විමල් වීරවංශගේ කතා තහනම් නොකරන්නේ ඇයි...

Anonymous
February 24, 2011 11:47 PM

පව් මෑන් එයත් හදුවෙ ගානක් හොයා ගන්ඩනෙ,අනික් 1ක් අය පිට රටවල් වල අපෙ රටට කොච්චර පාර ගහනවද,..........???

Amda
February 25, 2011 2:03 AM

සින්දුවෙ වචනවල නම් පොඩි පරහක් නැත්තෙමත් නැහැ. ඒත් ඉතින් සින්දුවට මිනිස්සු කැමතියිනෙ. ඒක නිසා මාකට් එකක් තියෙයි. ඒ ඔක්කොටම වැඩියෙ ඔයා ඒක පිලිගත්ත එක නම් නියමයි. Hats Off

Anonymous February 25, 2011 2:07 AM මට පේන්නෙ එංගලන්තෙ මාලිගාවෙන් පොඩි බලපෑමක් එල්ල වෙල වගෙ.

Geeth February 25, 2011 8:13 AM සමාව ගන්න ඕන තරම් වරදක් ලහිරු කරල නෑ.නමුත් ගායකයෙක් උනාම තමන් ගායනා කරන ගීතයේ පද මාලාව පිලිබදව හොදින් දැනුවත් වෙලා ඉන්න ඕනෙ.අපරදෙ මේකෙන් උනේ අලුත් ආරකට ගීත නිර්මාණය කරපු ලහිරුට පොඩි කලු පැල්ලමක් එකතු උන එක.ඊලග වතාවෙවත් මේ වැරැද්ද නොකර ඉන්න එක හොදයි.

Anonymous

February 25, 2011 9:04 AM

ළහිරැ පෙරේරාටත් තිබ්බේ මහින්ද රාජපක්ෂගේ ස්ටේජ් නගින්න නේ.දෑත් ශත්කිමත් කරානම් ඔහොම වෙන්නේ නෑ නේ...

Anonymous February 25, 2011 11:45 AM අපේ ලොක්කගේ තියෙන්නේ අමුතම ගේම්. සන්නස්ගල සබරගමුව්ට මහඇමති ඉල්ලනකොට ඒක බයකරල නැවැත්තල මිනිහා ලෙඩ වුනාම කොල් කරල අහනවා උපුල් මොනවද මගෙන් කෙරෙන්ඩ ඕනේ කියලා. කාට වුනත් ජනාධිපති කථාකරාම මාර ආතල් එකක් එනවනේ. පස්සේ පත්තරේකට කියලා තිබුනේ අපේ ජනාධිපති 1000ක් වැඩ රාජකාරි අස්සේ මට කෝල් කරලා මගෙන් මොනවද වෙන්ඩ ඕනේ කියලා ඇහුව. ඇත්තටම එයා විශිෂ්ඨ නායකයෙක් කියලා. එහෙම වුනාම මිනිහා අයේ එජාපෙන් චන්දේ ඉල්ලයිද???

දැන් ලහිරැගේ සින්දුව නවත්තලා රෑකගේ සින්දුව ඉස්සරහට ගේන්න කියපුනිසා ආයේ රෑකා ඉතින් හදමු අපි අලුත් රටක් කියන්න යූඑන්පී ස්ටේජ් එකට නගියිද????

Anonymous
February 25, 2011 1:59 PM

මේ සින්දුවෙන් කියන දේ අනිත් රටවල අයට තේරෙන නොතේරෙන එක නෙමේ අවුල. ක්‍රීඩාව යුද්ධයක් කර ගැනීම. ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා කතාවටත් කියන්නෙ. ක්‍රිකට් නොවේ මොන ක්‍රීඩාවෙන් වුණත් වෛරය වපුරන එක හොඳ දෙයක් නොවේ. මේ විධියට නවත්තන්න ඕන දේවල් ගොඩක් තියෙද්දි මේ දේවත් නවත්තපු එක මම අගය කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය...!

DSN

February 25, 2011 6:55 PM

මේක මොබිටෙල් එකේ තවත් ඇඩ් එකක් විතරයි,ස්මාට් කථාව තියෙන්නේ ඒකයි,තහනම් කරලා කරෙත් ඇඩ් එක තව ටිකක් ජනප්‍රිය කරපු එක,,දැන් හැමෝම ලහිරු ගැන දුක් වෙනවා,ලහිරු සමාව ගන්නෙත් මොබිටෙල් එකේ උපදෙස් අනුව තමා,රජයේ ආයතනයක් නැගලා යනවනම් ජනපති මැදිහත් නොවී ඉඳීද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි,ජනපති ජාතීන්ට ගරු කරන බව පෙන්වීම එකක් අනික මොබිටෙල් ජනප්‍රිය කරවීම,ජනපතිගේ වැඩ ගැන තව මේ රටේ අය දන්නෑ,තමන් ඇති කරපු සිද්ධියකටම මැදිහත් වෙලා ඒක නිරාකරණය කරලා ජනප්‍රිය වීමේ කලාව තමා මහින්ද කලාව

Anonymous
February 26, 2011 11:00 PM

එතකොට මහ එක්කෙනාගේ ෆිට් එක වෙලා ඉන්න දුමින්ද සිල්වාගේ හිරු එකේ යන "පන්න පන්න දෙන්නේ" කියන සින්දුවෙ කැන්ගරුවො, එන්ගලන්තේ රැජිණ, ගැන කියන ඒවා වැරදි නෙමේ නේද?
ලහිරු this is the wonder of Asia














සිළුමිණේ බටර් පාට වටොර හා කාමය පාපයක් නො වන අපේ සමාජවාදය


වටොර නාරි සුන්දරත්වයේ ප්‍රධාන ලක්ෂණයකි. එය ශෲංගාරය දනවයි. කාමය පුබුදයි. එය පිරිමිනට ස්ත්‍රී සිරුරේ වඩාත් ම සුඛය දනවන ස්ථානයන් අතරින් එකකි.


කෙළෙස් නොතවන ලද හා අසාමාන්‍ය මනෝ විකෘතියක් නොමැති පිරිමි එය බලන්නට ආශා ය. බලන ගමන් සිතින් ස්පර්ශ කරනවා ද ඇත. වටොර ප්‍රසිද්ධියෝ ප්‍රදර්ශනය කරන ලියෝ එය නරඹන පිරිමින්ගේ මනස තුළ 'දූෂණයට' ලක් වෙති.


දනහිසේ සිට අඟල් කීපයක් ඉහළට වටොර පෙන්වීම අශ්ලීල ක්‍රියාවකැයි වර්තමාන ලංකාවේ සුචරිතවාදීහු කල්පනා කරති. ඇත්තෙන් ම හොඳ ම හරිය වසා මේ හරිය පෙන්වීම විසින් ඉතිරි ටික පරිකල්පනය කර ගැනීමේ අවස්ථාව එය බලන අයට ලබා දෙයි. රූප ලාවණ්‍යය වැඩි කරන දේ භාවිතයෙන් මෙන් ම නූතන ෆොටෝෂොප් වැනි ඡායාරූප සංස්කරණ තාක්ෂණයන් ඔස්සේ ද මේවායේ ශෲංගාරාත්මක ස්වභාවය වැඩි දියුණු කළ හැකි ය.


කාමාශාවන් පරිකල්පනය ඔස්සේ මුක්ත කර ගැනීම සිත් ගත් සුන්දර ස්ත්‍රීන් පර අඹුවන් ද යන්න නො තකා ඔවුන්ගේ සම්භෝගය පතනවාට වඩා සාමකාමී ය. ඒ අතින් නිල් චිත්‍රපට කරන්නේ සේවයකි. සැබෑ ජීවිතයේදී තෘප්ත කර ගැනීම දුෂ්කර ලිංගික ආශාවන් ‍හෙවත් ෆැන්ටසි මනෝ ලෝකයේදී හමු වීම පිණිස දුප්පතුන්ට නිල් චිත්‍රපට මහත් පිටිවහලක් වෙයි. ධනවතුන්ට නම් මිළ අධික කාම සේවා ස්ථාන වෙතින් සිය ආශා තෘප්ත කර ගත හැකි ය.


ශිෂ්ට සමාජය විසින් පිටුදකිනු ලබන ඇතැම් කාමාශාවන් සැබෑ ලෝකයේදී තෘප්ත කර ගන්නවාට වඩා නිල් චිත්‍රපටයක් බලා එය මනසින් විඳීම හැම අතින් ම සාමකාමී ය.


එහෙත්, ලංකාවේ වැඩිහිටියන්ට ද නිල් චිත්‍රපට තහනම් ය. නිල් චිත්‍රපටයක් බලා විමෝචනය කර ගත හැකිව තිබුණු බොහෝ කාමාශාවන් වෙනත් ස්වරූපවලින් සමාජය මත මුදා හරිනු දක්නට ලැබේ. පිරිමින් එසේ කරන්නේ බිරින්දන්, දරුවන්, යටත් සේවකයන් ඉදිරියේ ප්‍රචණ්ඩ වීමෙන්, බසයේදී හමු වන නාඳුනන ගැහැනියකට ජැක් ගැසීමෙන් ආදී වශයෙනි.


නිල් චිත්‍රපට පසුපස හඹා යන, ඒවා විනාශ කිරීමට උනන්දු වන බොහෝ දෙනෙක් ඒවා බැලීමට මහත් රුචියක් දක්වන අය බව අප නිරීක්ෂණය කර ඇත. තමන් කරන දෙය ඔවුන් සාධාරණීකරණය කරන්නේ ඒවා ළමයින් බලන බව හා එසේ බැලීමෙන් ළමයින් නරක් වන බව කියමිනි. නිල් චිත්‍රපට, නිරුවත් ඡායාරූප, කාම වෙබ් අඩවි ගැන නිතර කතා කරන දේශපාලකයන්, නිලධාරීන් හා මාධ්‍යකරුවන් ඇත්තෙන් ම කරන්නේ එවැනි දේ ඇති බව පවසා සොයා යාමට මිනිසුන්, ළමයින් පෙළඹවීමයි.


නිදසුනක් වන්නේ ලංකාවේ ගැහැනුන් පෙනී සිටින කාම වෙබ් අඩවි ඇති බවට කරන ප්‍රචාරයන් ය. එසේ ම, ලිංගික සේවා සපයන ස්ථාන පිළිබඳව ප්‍රචාරය කෙරෙන්නේ ද අතිශයෝක්තියෙනි.


සිළුමිණ ලංකාවේ සුචරිතවාදී ආණ්ඩුවේ ඉරිදා පුවත්පතයි. මෙහි පළ වන සුන්දර ඡායාරූප මෙම ලිපිය ලියන පිරිමි ලේඛකයා මහත් සේ රස විඳි බව කියන්නේ ආණ්ඩුවටත්, සිළුමිණටත් ස්තුති පූර්වකව ය. මාසෙකට සැරයක් පළ වන මෙවැනි සුදු වටොර පෙන්වන ඡායාරූප දෙසතියකට පමණ වරක් පළ කරනවා නම් වඩා හොඳ ය. නිල් නැති රටේ ළා මේවා ළා නිල් ය.


මෙම ලේඛකයා නව යොවුන් වියට එළඹෙමින් සිටි හැත්තෑව දශකයේ අගභාගයේ පාසල් වියේදී මෙවැනි සුන්දර ඡායාරූප සොයා ගැනීම දුෂ්කර වූ අතර ඒ කාලයේ අතිනත හුවමාරු වූ රෝනියෝ මුද්‍රණය කරන ලද කාම කතා විශේෂයක් තිබිණි. ලේඛකයා අමාරුවෙන් සොයාගෙන කියවූ ඉන් එකක වටොරේ පැහැය දක්වා තිබුණේ බටර් පාට කියා ය. ඇත්තෙන් ම එය ඉතා ශෲංගාරාත්මක යෙදුමකි.


ලේඛකයා සිහින දකින සමාජවාදය තුළ ආදරය, ශෲංගාරය, කාමය පාපයන් ලෙස නො සැලකේ.


අනේ අපි කවදාක පීනමු ද ඒ ග‍ඟේ (නන්දා මාලිනී - පවන ප්‍රසංගයේ ගීයක කොටසක්)


Friday, February 25, 2011

දැන් ඉතින් සක්විතිට අපි කුමක් කරමුද?


අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් කුප්‍රකට වංචාකරු සක්විති රණසිංහ වාර්තා වන පරිදි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි යි කියා මෙම සටහන පටන් ගන්නෙමු. එවිට පිරිසකට මළ පනින බව දනිමු. එහෙත් එය ඇත්තකි.


මූලික වශයෙන් ලංකාවේ දිළිඳු ජනයාගෙන් සූරා කනු ලබන බදු මුදලින් පුනරාවර්තන වියදම් මුළුමනින් ම සපුරා ගනිමින් උසස් පිළි ගැනීම් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන රාජකීය මට්ටමේ ඕනෑම පාසලකින් රාජ්‍ය පාලකයන් වැනි ප්‍රභූ ධනවතුන් මෙන් ම මෙවැනි පල් හොරුන් ද බිහි විය හැකි ය.


ධනවාදය තුළ පල් හොරා සහ ප්‍රභූ ධනවතා අතර ඇත්තෙන් ම තිබෙන්නේ කෙස් ගසක වෙනසක් පමණි. මෙය හොඳින් පෙන්වා දුන් පුද්ගලයා ලලිත් කොතලාවලයි. ලංකාවේ බිල් ගේට්ස් ලෙස හැසිරුණු මේ ඊනියා ප්‍රභූවරයා එක රැයින් සක්විති රණසිංහ මට්ටමට වැටිණි.


පබා වැල නාට්‍යයේ අන්තිම කොටස ඔබට මතකද? ත්‍රිරෝද රථයක් පදවමින් සිට පළාත් පාලන ඡන්දයක් තරග කළ උක්කු සත් වසරකට පසු ඇමතිවරයකු වී ජීවත් වන ජීවිතය එහි නිරූපණය කර තිබිණි. මේ සත් වසර තුළ ඔහු හැදූ ගෙයි තරම, ගත් යාන වාහන තොගය හා ඔහු වටා සිටි සේවක කාරකාදීන් පිරිස මතකද?


ලංකාවේ දුක දිනා ජයගතු හපන්නු වැඩි දෙනෙක් උක්කු වැනි මහජන දේපල සොරා ගත්තෝ වෙති. ලැයිස්තුවක් ලියන්නට පටන් ගත්තොත් එහි මුලින් ම ඉන්නේ මියගිය හා ජීවත් වන අපේ ජාතික වීරයෝ ය.


අද අංක එකේ ප්‍රභූන් ලෙස වැජඹෙන පුද්ගලයන් හා සක්විති රණසිංහ අතර කිසිදු වෙනසක් නැත. යුක්තියෙන් අංශු මාත්‍රයක් හෝ ඉටු වන්නේ නම් අද සිටින වීරයන් ඕනෑ කෙනෙක් සක්විති මෙන් ම නින්දිත ඉරණමකට ලක් වීමට පුළුවන.


සක්විති කාණු පල්ලෙන් ආ එකෙකි. ඔහුට මහජන මුදල් ලෙහෙසියෙන් මංකොල්ල කෑ හැකි පරිදි තාත්තාගෙන් පුතාට ලැබෙන දේශපාලන උරුමයක් තිබුණේ නැත.


ඔහුගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ රුහුණෙන් වීම ද රසවත් කාරණයකි. ඔහු සිය ටියුෂන් ව්‍යාපාරය නඩත්තු කළේ තනිකර ම මාධ්‍ය ප්‍රචාරයෙනි. අද ඔහුගේ අත්අඩංගුවට ගැනීම විකුණාගෙන කන ජනමාධ්‍ය බොහොමයක අතුණුබහන්වල ඒ දිනවල සක්විතිගෙන් කෑ කෑමවල නො දිරවූ කොටස් තිබේ.


තමන් වැනි යන්තම් ඉංග්‍රීසි ටිකක් කට ගා ගත් හිස් මිනිසකු 'මම උගැන්වීමට ම උපන්නෙමි' යි කී පළියට වැල නො කැඩී ඔහු වටා රොද බැඳ ගන්නා මිනිසුන් සිටින සමාජයක තමන් අද්භූත බල ඇති සක්විති රජකු යයි සක්විතිට සිතීම ඔහුගේ ම පමණක් වරදක් නො වේ. මෙය ඔහුට පමණක් නොව අනෙකුත් සියලු සක්විති රජවරුන්ට ද අදාළ කරුණකි.


ලංකාවේ ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන බල්ලන් මරා හෝ උපයා ගන්නා සල්ලි උඩ පීනමින්, චොකා බයිලා සංස්කෘතික ජීවිතයකට අනුව ගත කරන පාදඩ ජීවිතයේ ගොදුරක් බවට පත් වූ සක්විති කෑ මංකොල්ලය ඔහු වර්ගයේ වෙනත් ඕනෑම කෙනෙකු විසින් කරනු ලබන දෙයකි.


පරම්පරා ගණනක් ලාංකිකයන් උගස් කර ගන්නා ණයෙන් ක්‍රියාත්මක කරන 'සංවර්ධන' ව්‍යාපෘතිවලින් ඇස වසා සියයට දහයක් පහළොවක් කොමිස් ගන්නට අවස්ථාව තිබුණා නම් සක්විති මෙසේ කරන්නේ නැත.


ලාංකිකයන් වැඩි දෙනෙකුගේ පරමාදර්ශී ජීවිතය වනාහි ඉහත කී සීයට දහයේ කොමිස් ජීවිතයයි. ලංකාවේ මිනිසුන්ගේ නාඩි වැටෙන හැටි හොඳින් දත් පබා ලියූ මහේෂ් රත්සර මද්දුම ආරච්චි පබා වැල නාට්‍යයේ අගට උක්කුගේ දියුණුව අමුණන්නේ ඒ නිසා ය. එකී සිහිනය හඹා යන්නට බැරි වූ විට ලංකාවේ මිනිස්සු වෙනත් විකල්ප සොයා යති. පිරමිඩ් ක්‍රම, සල්ලි පොළියට දීම හෝ පොළියට සල්ලි ගෙන දිරාමාරු වීම හෝ පගා ගැසීම, මාටියා ගැසීම, පිල්ලි ගැසීම හෝ රක්ෂණ සමාගම් ආදිය වෙනුවෙන් අනෙක් මිනිසුන් රැවටීම, පාවා දීම හා ප්‍රයිවට් ප්‍රැක්ටිස්, ටියුෂන් ආදී වෙනත් මරිසි ගසති.


සක්විති ළඟ මුදල් තැන්පත් කළ අය ඔහු මෙන් ම ක්ෂණික ලාභ පැතූ පොඩි සක්විතිලා ය. සක්විති රණසිංහ සිය ජාවාරම සඳහා ලොකු සක්විතිලා ද පාවිච්චි කළේ ය.


අපි ඔක්කොම එක එක මට්ටමේ සක්විතිලා ය. එක සක්විති කෙනෙකු අල්ලාගෙන මරා කන්නට අප දැන් සූදානම් වන්නේ මෙකී සක්විතිකම සමග එකට යන ම්ලේච්ඡත්වය නිසා ය.


සක්විතිට කුමක් කරමුද? කුමක් කළත්, ඉන්දියාවෙන් එහාට පළා යන්නට හෝ එහි දිගට ම ඉන්නට බැරිව හෝ වෙනත් දේශප්‍රේමයක් නිසා හෝ, අනතුරුදායක ලෙස දෙමළ නමකින් ලංකාවට පැමිණ, කිසි සේත් ම නො යා යුතු, සම්බන්ධතා පවා නො පැවැත්විය යුතු තැනකට මුදල් ඉල්ලා ගන්නට යන්නට සිදු වූ සක්විති රණසිංහ ණයට ගත් මුදල් ආපසු ලබා ගැනීම නම් හරි යන වැඩක් වන්නේ නැත.


මේ මිනිසාගේ එක් සාධනීය ලක්ෂණයක් හෝ දැකිය හැකි ය. එනම්, සිය දරු පවුල සමග එකට සිටින්නට ඔහු දරා ඇති උත්සාහයයි. මෙවැනි අය එක්තරා දුරකට මුග්ධයෝ ය. ඔවුනට දුර නො පෙනෙන්නේ එම මුග්ධකම නිසා ය. අනෙක් පැත්තෙන් ඔවුහු තමන් පිළිබඳ අධි මානසිකත්වයකින් ද, .තමන් තුළ ඇති ගුප්ත බල පිළිබඳ විශ්වාසයකින් ද පෙළෙන්නෝ වෙති. එමෙන් ම ජීවිතය බිඳ වැටුණු පසු ඔවුහු අතිශය දුර්වල පුද්ගලයෝ බවට පත් වෙති. සක්විති රණසිංහ අංක එකේ කපටියකු යයි යමකු සිතුවේ නම් දැන් එය වෙනස් කර ගැනීමට කාලය එළඹ තිබේ. වරද ඇත්තේ සක්විති රණසිංහගේ පමණක් නොව ඔහු වැන්නන් අදහන හා ඔවුන්ට රැවටෙන මේ සමාජයේ ය.


දැන් ඉතින් අපි කුමක් කරමුද? මුදල් සැඟවූ තැනක් පෙන්නන්නට යන විට පොලිස් නිලධාරියකුට පහර දී ආයුධය පැහැර ගෙන පැන යන්නට සලස්වා වෙඩි තබා මරමුද? නැතිනම් ජීවිතාන්තය දක්වා හිරේ අරිමුද? ඇප දී එළියට ගෙන දඬුවම් මුදලාලිට දුන් දඬුවම දෙමුද?


අපේ පිළිතුර මෙසේ ය.


'දැන් ඉතින් අපි කුමක් කරමුද? ආදරය කරනු මිස' (අශෝක හඳගමගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙනි.)


අප කරන්නේ එයයි. එනම් මේ දූෂිත සමාජයට තව දුරටත් ආදරය කිරීමයි.