Monday, February 28, 2011

Arisen Ahubudu talks to ‘Tulava’ on Sinhawalokanaya – the movie




සුදර්මන් රදලියගොඩ: අපේ රටේ සිනමා කර්මාන්තය අද මුහුණ දී තිබෙන්නේ ඉතාම ශෝචනීය තත්ත්වයකට. මන්ද අද බිහිවන සිනමා කෘති වලින් වැඩි හරියක් දේශද්‍රෝහී, රටටත් වැඩක් නැති…මේ අපටත් වැඩක් නැති, මහින්ද චින්තනය දශමයක් වත් නිරුපණය නොකරන ඒවා. උදාහරණයක් හැටියට මේ අශෝක හඳගම කියන හාල්පාරුවා ළමා චිත්‍රපටයක් හැදුවත් ඒකටත් හිට්ලර්ගෙ මූණ තියෙන නායකයෙක් දාලා අපේ වසර 2,500 පැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසය, සභ්‍යත්වය, සදාචාරය සමච්චලයට, අවතක්සේරුවට ලක් කරනවා. අර සරත් වීරසේකර මහත්තයා කිව්වා වගේ මුං සේරම එල්ලා මැරිය යුතුයි. ඒ කොහොම වෙතත් මේ අවර ගණයේ නිර්මාණ අතරට ‘සිංහාවලෝකනය’ වැනි ගාම්භීර නමක් ඇති, දේශප්‍රේමී, විශිෂ්ට සිනමා කෘතියක් එක්වීම රටට ජාතියට ආදරය කරන ඔබේත් මගේත් අමන්දානන්දයට හේතු වන කාරණාවක්. ඉතින් මේ විශිෂ්ට සිනමා කෘතිය ගැන සමබර නිදහස් අදහස් දක්වන්නට අද ‘තුලාව’ට අප ආරාධනා කළා නම කියූ පමණින් ඔබ අප කවුරුත් දන්නා වියතකු වන අරිසෙන් අහුබුදු මහත්මයාට. අපි එතුමා ආයුබෝවන් කියා ‘තුලාව’ට පිළි ගන්නවා…ආයුබෝවන් අහුබුදු මහත්මයා.

අහුබුදුවෝ: ආයුබෝවන්!

රදලියගොඩ: අහුබුදු මහත්මයා, ඔබ හිතන්නේ මොකද්ද මේ ‘සිංහාවලෝකනය’ නැමැති, ඉතාම කලාතුරෙකින් බිහිවන ආකාරයේ, දේශප්‍රේමී, අති විශිෂ්ට, නිර්මාණශීලී සිනමා කෘතිය පිළිබඳව?

අහුබුදුවෝ: හෙළ කලා අඹරෙහි වෙසෙසින්මැ පායා සුදිලෙනැ රන් තරුවක් සේ මා දුටුවා මේ පින්සර, දෑ හිතැති, දෑ විකුමැති, මනරම් සිතුවම් පටය. හෙළ දෙස, හෙළ රැස, හෙළ බසය යන තෙරුවනැ මුළුදෙනැ, දෑ හැඟුම් පොබයනැ, පොබයා රණ විකුමින් මනමත් කරනැ, පරංගි දෙස්හි මහරජුන්ටත් මර උණ ගැන්නු, අපේ රාවණා මුත්තා ගේ පටන් පඬුඅබා, ගැමුණු, විජයබා, ගජබා, මහ පැරකුම්බා, රාසිං ඈ නිරිඳුන්ද සිරි රුහුණු ජනරජ ඇඳුරිඳු මිහිඳු රජපස, ඇඳුරිඳු ගොළුඅබා රජපස, මහ සෙන්පති සවිනිදු සිලවා තෙක් සිව්හෙළ, සීහෙළ එනම් සිහළ රණවිරුවන් තෙද බල පැරකුම් සිහි ගන්වනැ අනගි සිනිමා සිත්තමකි. මහ නළු ඩෙලොන් ජයසිංහයෝ පර සුද්දන් අබියෙසැ දණ නවා කුසට අහරෙක්, වතට පිළියෙක් යදිනැ පරගැතියන්ට ආදුරුසයෙක් වෙමින්, පර සතුරු බල බිඳිමින් සිහළ බල නඟති; එඩි වඩති. ඒ නුදුටු ඇස් කුමකටද හෙළ සිත්හි පැණැ මතු නොවෙතොත් මහැමැ පුදුමයෙකි.

රදලියගොඩ: ඔව්, ඔබ විශේෂයෙන්ම සඳහන් කළ ආකාරයට, අපේ රට විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණවලට යටත් වෙමින් පවතින මේ මොහොතේ, අපේ රටේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණ වලට නිර්භීතව මුහුණ දී ඒවා පරදවා රට, ජාතිය, ආගම එක්සේසත් කිරීමට විශාල උත්සාහයක් ගන්නා මේ මොහොතේ මෙබඳු සිනමා කෘතියක වටිනාකම මිළ කළ නොහැකියි. ඒක නෙවෙයි අහුබුදු මහත්මයා, කාටද මේ ‘සවිනිදු සිවලාය’ කිව්වේ?

අහුබුදුවෝ: හා! හා! දරුවා! කට! කට! ‘සවිනිදු සිවලා’ නෙවෙයි ‘සවිනිදු සිලවා’. පසුගිය දොහෙකැ පිරපාහරන් නම් කඳ බඩ මහත් වූ සොරදෙටුවා දෙපයින් ගෙනැ පරසක්වල ගසා, සිහළ බල ලොවට පෑ ඒ විකුමැති මහතුන් කළ ගුණ දන්නා දැයක් ලෙසැ අප කෙසේ නම් අමතකැ කරලමුද?

රදලියගොඩ: හා.. ඒක මිසක්. අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයින් අවබෝධකර ගන්නවා ඇති අහුබුදු මහත්මයා එයින් අදහස් කළේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර නායකත්වයෙන්, පුරා තිස් වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදාගත් මානුෂික මෙහෙයුමේ ක්‍රියාකාරී වීරෝදාර නායකයකු වූ බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර ද සිල්වා මහතා බව. මෙහිදී අපේ රණවිරුවන් කළ වීරෝදාර පරිත්‍යාග ගැනත් අපට කොහොමටවත් අමතක කරන්නට බැහැ. කොහොම වුණත් අහුබුදු මහත්මයා මගේ ඊළඟ ප්‍රශ්නය මේ නම ‘සිංහාවලෝකනය’ ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ?

අහුබුදුවෝ: සිංහයා විසින් අවලෝකනය කරනැ ලද්දේ සිංහ+අවලෝකනය නම් වේ. අවලෝකනය හෙවත් අව+ලෝකනයෙහි අව නම් පහළයි. ලෝකනය නම් බැලීමයි. ඉතින් කිමෙක්ද මේ සිංහයා විසින් පහළ බැලීම? පහළ බලන සිංහයා දකින්නේ කිමෙක්ද? මල පහ කොටැ සෝදා ගන්නැට වත් නොදන්නා පර සුද්දාගේ පරගැති යදම් බිඳ, මින් වසර පන්දහසකට ඔබ්බෙන් රාවණා මුත්තාගේ සමයෙහි දියතමැ නතු කළැ හෙළයින්, පරසතුරු බලැ බිඳ යළි තම පැරැණි ඔදවත, කිතුගොස පළ කෙරුමැ නොවේද? ඉතාම අනගි නමෙකි, මේ අනගි සිනමා සිත්තම පිණිස.

රදලියගොඩ: අහුබුදු මහත්මයා, ඒ වුණාට මේ චිත්‍රපටයේ සිංහලයන් විසින් සුද්දාගේම බටහිර, තුප්පහි, සංකර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුද්දා පැරැදවීම කොයි තරම් දුරට උචිතද? වීර සිංහලයා ක්‍රිකට් වගේ බටහිර, තුප්පහි, සංකර ක්‍රීඩාවක නියැළෙනවාය කියන එකෙන් පර සුද්දාට බාල්දු වීමක් අදහස් වෙන්නේ නැද්ද? මං කියන්නේ මේකට චක්ගුඩු වගේ අපේම කියන්නට පුළුවන් සෙල්ලමක් යොදා ගත්තා නම් නරකද මීට වඩා?

අහුබුදුවෝ: අපේ පැරැණි සාහිත පතපොත වලින් ඕනෑ තරම් කරුණු ගෙනැ හැරැ දක්වන්නැට පිළිවනි පන්දු කෙළිය අපේ රාවණා මුත්තාගේ පටන් මේ හෙළ බිමෙහි පැවැති බවට. බුත්සරණෙහි, අමාවතුරෙහි, කව් සිළුමිණෙහි නැතිවද පන්දු කෙළිය පිළිබඳ ඇති තරම් විස්තර? එල්ලාවල මේදානන්ද හිමියන්ගේ පුරාවිදු පරියේසණ වලින්ද හෙළි වෙනවා නොවැ ඒ වග. අනුරපුරයෙහි, පොළොන්නරුයෙහි එක පෙළට සිටුවා ඇති ගල්කණු තුනෙක් දුටු විගසැ අපට හැඟෙන්නේ කිමෙක්ද? ඒ තමා එකළැ අප දස මහා යෝදයින් පන්දු කෙළින්නට ගත් කඩුල්ල හෙවත් විකැට්ටුව. පර සුද්දාගේ විකැට්ටුව වගේ සුළු නැහැ, තුන් වේලට බත්, පොළොස්, හෙරළි කෑ අපේ යෝදයින්ගේ විකැට්ටු. ඒ පන්දු කෙළියම තමා පසු කළෙකැ මල පහ කොටැ සෝදා ගන්නැට වත් නොදන්නා පර සුද්දා සොරැකම් කළේ. සොරැකැම් කොට අපට දුන්නේ උන් ගේ කෙළියක් ලෙසැ. අපේ රාවණා රජු දවසැ කිරි කපන්නැට ගන්නා කැති වළින් කළැ කෙළිය කිරි+කැති, කිරි+කැට් වී පසුව පර සුද්දා ‘ක්‍රිකට්’ කළේ. ඒ සුද්දාගේ නිමැවුමක් සේ දකින්නෝ අනුකාරකයෝයැ, අවජාතකයෝයැ, කිරි+කැති අපේම පන්දු කෙළියක් බවට මෙතරම් නිදසුන් තිබියදි.

රදලියගොඩ: ඒ එක්කම අපේ සමහර දේශද්‍රෝහීන් චෙදනාවක් කරනවා අහුබුදු මහත්මයා, මේ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ අමීර් ඛාන්ගේ Lagaan චිත්‍රපටයේ කාබන් කොපියක් කියලා…

අහුබුදුවෝ: නැති. නැති. නැති. අපේ පරගැතියෝ පර දේසක්කාරයාගේ ගුණමැ දක්නෝ තමන්ගේ එකාගේ ගුණ නොදක්නෝයැ. තමා ගුණ නොදිස්නේ – දිස්නේ ගුණ මැ මෙරමා! හෙළ විරුවන් කිරිකැති කෙළියෙන් පර සුද්දා පැරැදූ බව රාවණා රජ සමයේ පටන්මැ අපේ සාහිත පොතපතෙහි වූ පුවතෙකි. අමීර කානයා සොරැකැම් කොටැ ලගානයක් තැනූයේ මෙපුවතිනි. ඒකා අපෙන් සොරැකම් කළා මිස අපි ඒකාගෙන් සොරැකම් නොකළෙමු. එසේ සිතන්නෝ පරගැතියෝය, අවජාතකයෝයැ. උන් හෙළ දෙසය, හෙළ රැසය, හෙළ බසය යන තෙරුවනට නිගා දෙවන්නෝය. අපි දෙවන පෑ තිස් රජ දවසටත් පෙරැ පටන් රාවණා රජ සමයේ සිටමැ බුදු බණෙහි පිහිටවූවෝ අනෙකුන්ගෙන් සොරැකම් නොකරමු, මුසා බස් නොදොඩමු, උන් අපෙන් සොරැකම් කළොත් මිසක.

රදලියගොඩ: අහුබුදු මහත්මයා මේ චිත්‍රපටයේ එක තැනක තියෙනවා මේ වීර සිංහලයින් පිරිස කාල යන්ත්‍රයක් මාර්ගයෙන් අනාගතයට ඇවිල්ලා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්තාය කියලා. මේවා වෙන්න පුළුවන් දේවල් කියලද ඔබතුමා හිතන්නේ?

අහුබුදුවෝ: ඇයි බැරි? මෙසේ අසන්නේ අපේ රාවණා මුත්තාගේ දස්කම් විස්කම් නොදන්නා නොදරුවනුයි. කවුරුද නොදන්නේ ලොව පළමු ගුවන් රිය තැනූයේ අපේ රාවණා මුත්තා බව? රසදියෙන් පණ ගැන්වූ ඒ රාවණා මුත්තාගේ ගුවන් රිය නැවතුම් පොළ නොවැ පසුව ‘වාරියපොළ’ වුණේ. වා+රිය+පොළ=වාරියපොළ. දුම්රිය පොළ වාගේ ‘වායු රථ පොළ’.රාවණා මුත්තාගේ ගුවන් රිය නොතිබුණා නම් කොයින්ද මේ නම්? අපේ පාසල් වල ඉගැන්නිය යුත්තේ මල පහ කොටැ සෝදා ගැනීමට වත් නොදැනැ සිටි රයිට් සහෝදරයින් ගුවන් රිය තැනූ පුවතෙහි ඉතිහාසය නොවැ අපේ රාවණා මුත්තා දැව දඬුයෙන් දඬු මොණරය නම් අනගි නිමැවුම කොටැ හෙළ කිතුගොසැ ලොවැ නැංවූ පුවතයි. රසදියෙන් දිවෙනැ ගුවන් රිය තනන්නටැ පිළිවන් වුණා නම් අපේ ආදි මුතුන් මිත්තන්ට ඇයි බැරිවුණේ මෙවන් දස්කම්? මේ නැහැ, බැහැ යන වදන් ඉවත ලූ අපේ සැබෑ හෙළයින්ගේ සපන්කම්. සිංහාවලෝකනය නම් මේ සිතුවම්පටින් කියන්නේ ඒ මහත් විකුම් පෑ හෙළයින් ගැන අප නොදන්නා අන්දරයයි. මේ සිතුවම්පට බැලුමට පමණෙක් නොවෙයි. ඒ බලා අද වීර හෙළයින් උගත යුතුයි මුතුන් මිත්තන්ගෙන් පාඩම්. ‘සිංහල සිංහාසනය’ මැයින් ගුරු දෙවි කුමරතුඟු මුනිදසුන් කියවන නුවණෙහි ලිවූයේ කිමෙක්ද? අපේ පෙරැ කළැ තෙදවත බලා සංවේග උපදවා, යළි නැඟෙන්නටැ පස්වැනි ජෝර්ජි මහා රාජයන් මහා කරුණා නෙතින් අප දෙසැ බලා සිහසුන යළි අපවෙත එවූ බව නොවේද කුමරතුඟුවන් කීවේ? මේ සිංහාවලෝකනයද එබඳුම සිහසුනක් නොවේද දෑ හැඟුම් උපදවා ගණු පිණිස?

රදලියගොඩ: හොඳයි අහුබුදු මහත්මයා අවසාන වශයෙන් දේශද්‍රෝහීන් තවත් චෝදනාවක් කරනවා මේ අති විශිෂ්ට සිනමා නිර්මාණය කරන ලද්දේ වර්ගවාදය විකුණාගෙන කෑම ලාභාදායී ව්‍යාපාරයක් වී ඇති මේ කාලයේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නය කියලා. ඒ වගේම ඔවුන් කියන්නට පුළුවන් ‘වර්ල්ඩ් කප්’ අස්සේ එවැන්නක ඉල්ලුම තවත් වැඩි වෙන්නට ඉඩ ඇති බව. ඔබට මොකද හිතෙන්නේ?

අහුබුදුවෝ: හපොයි, මොන අසාදාරණ කියුමෙක්ද ඒ? පරගැතියවුන්ට, අවජාතකයින්ට පමණෙක් කළැ හැකි නපුරු කියමනක් නොවැ. මුන්ම නොවැ කියන්නේ මා මේ දරුවකුට සැංසුංද දැරිවියකට නොකියාද කියා ආරිය සිංහළ නම් තබා මඩිය තරැ කැරැ ගන්නා බව. මුංගේ කටවල් වලට වැහි නැති හෙණ නොවැදිය යුතුද මෙවැනි අවලම් කතා කියන කොට? අපට දෙස රැස බස ඈ තෙරුවන කෙරෙහි ඇති බැතිය මුංට නොවැටහේද? අපට රට දැය නැඟුම සඳහා වන මෙහෙවර මුංට නොපෙණේද?

රදලියගොඩ: ඔබට බොහෝම ස්තූතියි අහුබුදු මහත්මයා, අද මේ අපේ රටම විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණයකට යටව ඇති මොහොතේ, අපේ අතිගරු ජනාධිපතිතුමන් නිර්භීතව බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් ආකාරයෙන්ම මේ විජාතික, අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන්ගෙන්ද රට මුදා අපේ ප්‍රෞඪ අතීතය නැවත මේ ජයභූමිය මත ප්‍රතිනිර්මාණය කිරීම පිණිස දිවා රෑ නැතිව කටයුතු කරන මෙ මොහොතේ, ඒ විජාතික කුමන්ත්‍රණකරුවන්ගේ සැලැසුම් රටට හෙළිකරමින් රට ජාතිය ආගම ගැන අපේ ඇති ආදරය භක්තිය කුළු ගන්වමින් කළ මේ අගනා සිනමා නිර්මාණය පිළිබඳව දේශප්‍රේමී දෘෂ්ටි කෝණයෙන් අපේ ප්‍රේක්ෂකයින් උදෙසා කළ විචාරය සම්බන්ධව. ඉතින් ප්‍රේක්ෂකයිනි අදත් අපේ කාලය අහවරයි. ලබන සතියේත් අප නැවත හමුවෙමු නිදහස් හා සමබර අදහස් ඔබ වෙත ගෙනෙන එකම රූපවාහිනී වැඩහටන වන ‘තුලාව’ තුළින්. තුලාව රූපවාහිනී මහගෙදර නිර්මාණයක්. මා ඔබෙන් සමු ගන්නා සුදර්මන් රදලියගොඩ. ආයුබෝවන්

No comments:

Post a Comment